රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Tuesday, July 23, 2013

කළණ මිතුරියකගේ දායකත්වයෙන් ඇසළ පුන් පෝදා විදුලි පහන් කණු දහයක් ගෞතම බුදු සසුනට පූජා කල වගයි.




සියලු පින්කම් බලන්න (
http://www.sasuna.blogspot.com/ )

පින්වත් යාලුවනේ ඊයෙ අපි පින්කම් දෙකක් කලා. එකක් තමයි ඔය සැරියුත් මුගලන් පූජාව.

ඊයෙම (2013/07/22 ) අපි තවත් පින්කමක් කලා. ඒ තමයි මේ විහාරස්ථානයටම පහන් කණු දහයක් පූජා කිරීම. කුරුණෑගල බෝයගනේ නයිලිය ශ්‍රී නාගංගනාරාම විහාරස්ථානයටයි මේ පූජාවන් කලේ.
                    මේ පින්කමට සියලු දායකත්වයන් මගෙ මිතුරු මිතුරියන් තුන්දෙනෙක් ලබා දුන්න. විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණු දහයම සහ සිමෙන්ති කොට්ට දෙකක් ලබා දුන්නෙ ඔස්ට්‍රේලියාවෙ ඉන්න නංගි කෙනෙක්. එයා පැහැදිලිවම කිව්ව නම් ගම් හෙලි කරන්න එපයි කියල. ඒ නිසා ඒ පිලිබද කිසිම සටහනක් මම දාන්නෙ නෑ. ඊලගට මේ විදුලි ආවරණ, බල්බ්, වයර්, වයරින් බට, ආදිය සියල්ල ලබාදුන්නෙ මේ ගමේ මගෙ යාලුවො දෙන්නෙක්. නිශාන්ත සහ චාමර කියල දෙන්නෙක්. නිශාන්ත අයියගෙ මියගිය අප්පච්චිට පින් පිණිසත් චාමර මල්ලි චතුරාර්ය සත්‍යය අව‍බෝධය වෙනුවෙනුත් මේ පින්කම් වලට දායක උනා.

පින්වත් යහලුවනේ මේ විදුලි ආලෝක පූජාවත් වැටෙන්නෙ ආලෝක පූජාවට. ඒ කියන්නෙ පහන් පූජාවෙත් විදුලි ආලෝක පූජාවෙත් ආනිසංශ බොහෝ දුරට එකයි. මම අර දොලොස් මහේ පහන වෙනුවෙන් කල පුණානුමොදනාවමයි මෙතෙන්ට් අදාල වෙන්නෙ.

එහෙමනම් පින්වත් යාලුවනේ පහන් පූජාවේ ආනිශංස මොනවද පොඩ්ඩක් බලමු.

පහන් පූජාවේ අනුසස්,
"දීපදෝ හෝති චක්ඛුදෝ" යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය.

පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි.

පහන් පූජාවේ අනුසස් -
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හො‍ද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම

ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. "උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය"යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.

ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

යහලුවනේ පහන් පූජා පින්කමට අමතරව මාර්ගයට හොදින ආලෝකය වැටිල විහාරස්ථානයට යන එන අයට පහසුවක් අනා. අනික පන්සල දැන් හරිම ලස්සනයි රෑට. ඉතින් සර්පාදී සත්තුන්ගෙන් පවා අනතුරක් වෙන්නෙ නෑ. මේව මහ පින්කම්.

මුදල් පරිත්‍යාග කල දයාබර නංගියේ, අය්යේ , මල්ලියේ , මේ සිදුකල පින්කම් බෙලෙන් ඔබවන් දරුවන් බිහිකල දයාබර පින්වත් දෙමාපියන් දීර්ඝායුෂ ලැබේවා. සියක් වසරකට වැඩි කාලයක් ආයුෂ ලබන්නටත් නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ගත කරන්නටත් හැකියාව ලැබේවා. මහලුවියට පත්වනවිට ස්වභාවිකව සිදුවන ඇස්පෙනීම අඩුවීම වගේ රෝග ඔබ කල ආලෝක පූජාවේ ආනිසංශයෙන් දුරුවෙලා මිය යන තුරුම ඉතාම තියුණු පෙනීමක් ඇතිවේවා. අනිකුත් සියලු ආබාධ දුරුවේවා. සියක් වසරකටත් වඩා ආයු වලදා සතුටින්ම මිය යන්නටත් සුගතිගාමී වෙන්නටත් කෙළවර අමා මහ නිවනින් සැනසෙන්නටත් දයාබර දෙමාපියන්ට හැකිවේවා. නිශාන්ත අයියාගේ මියගිය පියාට මේ පින් ලැබී සැපවත් ආත්මභාවයකටම පත් වෙත්වා. කෙළවර අමා මහ නිවන් ලබන්නට හේතු වාසනා වේවා ... ...

එසේම දයාබර නංගියේ ඔබටත්, නිශාන්ත අයියට සහ චාමර මල්ලිටත්, ඔබ දෙදෙනාගේ ඔබේ බිරිදටත් , ඔබේ දරුවන්ටත් අනිකුත් ඔබේ සමීපතමයන්ටත් නිදුක් නිරෝගී ජීවිතයක් ඇතිවේවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ උන සියලු මල්ලිලාටත්, විශේෂයෙන්ම කොන්ක්‍රීට් කණුවකට ඇගිල්ල හසු වී තුවාල ලද නදුන්න මල්ලියාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔබ කරන කියන සියලු වැඩ කටයුතු අතිශයින් සාර්ථක වේවා‍. මුහුණුපොතේ සියලු මිතුරන් සමග අපි ඔබට මෙලෙස පුණානුමෝදනා කරමු. එසේම පින්වතුන්ට විහාරස්ථානයට පිවිසෙන මාර්ගය එලිපෙහෙලි කිරීමෙන් සිදුකල මහ පිවෙන් ඔබේ ඉදිරි ගමන් තව දුරටත් පැහැබර,කම්කටොලුවලින් තොර ගමනක්ම වේවා වේවා. බාධක හිරිහැර කම්කටොලු වලින් තොර වේවා.   සොරකම් නොකර, අසාධාරණයෙන් හම්බ නොකර දාඩිය මහන්සියෙන් උපයාගත් ධනය වැයකර සිදුකල මේ මහා පින්කම් ඔබටත් පවුලේ සැමටත් මේ ජීවිතය තුල පමණක් නොව නිවන් දකිනා ජාති දක්වාම සැප විපාක ලැබේවා. කෙලවර ඔබ සියලු දෙනා පතන බෝධියෙන් නිවනින් සැනසෙන්නට මේ පින්කම් හේතුවේවා ...

පින්වත් යාලුවනේ, අපි විසින් සිදුකරගෙන යන තවත් පින්කමක් තියෙනව. පැරණි චෛත්යයක් ප්රතිසංස්කරණය කිරීමක්. මෙන්න මෙතනින් පිලිබද විස්තර ලබාගන්න පුලුවන්.


ඔබත් කැමතිනම් මේ පින්කම් වලට දායක වන්න පුලුවන්. මේ පින්කමට ලැබුනු මුදල් ප්රමාණවත් නැති නිසා ඔබ කැමතිනම් මේ පින්කමට දායක වන්න. පුලුවන් කෙනෙක් මට මැසේජ් එකක් එවන්න. මම ඔබට සියලු විස්තර ලබාදෙන්නම්. ඔබේ අතින්ම පරිත්යාගයන් කරන්න අපි අවස්ථාව සලසල දෙන්නම්.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා ... ... ...

මම සත්වයාගේ හිතසුව කැමති එරන්ද ලක්මාල්

විදුලි කණු දැමීමට පෙර මාර්ගය

කණු ගෙනා මොහොත

පින්වත් යහලුවන් වැඩ කරන ගමන්

සමීප සේයා රුවක්


අඩුපාඩු බලන ගමන්

ටිකක් කිට්ටුවෙන් ගත්තම ඔන්න


දුරට පේන්නෙ මෙහෙම





ඔන්න අවසාන ඉලක්කය සම්පූර්ණ උනා.


මෙන්න වියදම් උන මුදල්වල බිල්. නංගිය මට දුන්නෙ රු. 25000/-ක් සියලු වියදම් 25300/- ක් ගියා කණු වලට සහ සිමෙන්ති වලට සහ ප්‍රවාහනයට. ඉතිරි වියදම් කලේ නිශාන්ත අයියයි, චාමර මල්ලි නිසා ඒ බිල් මට ලැබුනෙ නෑ.