අද දින මාවනැල්ලේ, දෙවරගම්පල ශ්‍රී නීග්‍රෝධාරාමයේ ධර්මශාලාව ඇතුලු බහුකාර්ය
දෙමහල් ගොඩනැගිල්ලේ වහලය සදහා අවශ්‍ය සෙවිලි තහඩු ( ඇස්බැස්ටොස් ශීට් )
ලබාගැනීමටත්, වහලය සදහා අවශ්‍ය ලී සදහා ආධාර පිණිසත් රු 126,000/- ක් ශාසනයට පූජා
කලා. මෙහි විශේෂත්වය ධර්ම ශාලාව සමග එය ස්වාමීන් වහන්සේලාට ලැගුම් ගෙයක් ලෙසින් ද
පරිහරණයට හැකි වීමයි.
ඒ අනුව මෙය ධර්මශාලාවක්, ලැගුම් ගෙයක් වගේම දහම් පාසැල්
ගොඩ නැගිල්ලක් ලෙසත් භාවිත වෙනව.
මේ පින්කම සිකුකෙරුනේ මංජුලා මහත්මියගේ දැනුවත් කිරීමක්
මත වන අතර
මේ සදහා
රොෂාන් ප්‍රගීත් මහතා රු 96,000.00
පුෂ්පකුමාර කරුණාසිංහ මහතා රු 30,000.00
_______________________________________
_______________________________________
මුලු මුදල රු
126,000.00
පින්වත් යාලුවනේ මේක සුලු පින්කමක් නෙවෙයි. අටමහ කුසල්වලට අයත් පින්කමක්. මේ බලන්නකෝ.
කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)
ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ,
1. කඨින දානය,
2. අටපිරිකර පූජාව,
3. ආවාස සාදා පූජා කිරීම,
4. බුද්ධ ප්රමුඛ මහා සංඝයාට දන් දීම,
5. ධර්මය ලිවීම,
6. කෙත්වතු පිදීම,
7. බුද්ධ ප්‍රතිමා කරවීම,
8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය.
පින්වත් යාලුවනේ අටමහා කුසල් කියන්නෙ ආනන්තරි පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහත්ඵල මහානිසංශ ලබාදෙන පින්කම්. ඒ අනුව මෙය
බහුකාර්ය ගොඩනැගිල්ලක් නිසා කුටි ( ආවාස ගෙය) ලෙසද, ධර්මදානය සදහා පහසුකම් සැලසීම
ත් ඛර්මදාන පින්කමටම හේතුවන නිසා එලෙසින්ද යන අට මහා කුසල් දෙකකට අයත්වෙනව.
වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා
ආරාමරොපා වනරොපා - යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච - යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච - සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා - තෙ ජනා සග්ගගාමිනො
- සංයුත්තනිකාය
යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් , උයන් වවත් ද,
සෙවණ පිණිස ගස් වවත් ද,
ඒ දඬු පාලම් කරවත් ද,
ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද,
එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ,
පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.
දුකසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්,
“සියල්ල දුන්නාක් වැනි යැයි”
බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව,
මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා,
මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා,
මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..
යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.
ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.
ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්
01. තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය
02. උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය
03. බිය,
තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය
04. සිංහ,
ව්යාඝ්ර,
වළස් වෘක,
කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම
05. සර්ප,
භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම
කුටි සෙනෙසුන්,
ධර්මශාලා ආදිය සියල්ල මේ පින්කම්වලට අයත්වෙනව.
ඉතින් මෙවන් මහ පින්කමක්
සිදුකල රොෂාන් මහත්මයාගේත්, පුෂ්පකුමාර මහත්මයාගේත් නමින් පරලොව ගිය වරිග
පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත්
ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම
ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින්
තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.
අඹු දරු, සොයුරු සොයුරියන්ටත් මේ පින් හිමිවේවා.
විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්,
නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමනි් ජවයෙන් ශක්තියෙන් ඉදිරියට යන්නත්, සසර
පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල්
ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
මේ පින්කම සිදුකල රොෂාන් මහතාටත්, පුෂ්පකුමාර මහතාටත්
ඔබදෙදෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරාවට නැහැ බැහැ කියන
වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය
සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේවා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප
මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ
භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන්
ජයගැනීමටත් හැකියාව ලැබේවා. මෙවන්
පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත්
පහලවේවා. සතර වරම් දෙවියන් සතර වටින් ඔබට
ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත
වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට
මේ පින් හේතුවාසනා වේවා ...
මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන
බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව
විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා....
බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර
පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...
No comments:
Post a Comment