රක්ඛත බුද්ධසාසනං - බුදුසසුන (පණමෙන්) රකිව් ...

Monday, June 8, 2015

ධර්මශාලාවක වහලය ඉදිකිරීම සදහා මුහුණුපොතේ පින්වත් කළණ මිතුරන් දෙදෙ‍නෙකුගේ දායකත්වයෙන් රු 126,000/- ක් ගෞතම බුදුසසුනට පූජාකල වගයි ...


අද දින මාවනැල්ලේ, දෙවරගම්පල  ශ්‍රී නීග්‍රෝධාරාමයේ ධර්මශාලාව ඇතුලු බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ වහලය සදහා අවශ්‍ය සෙවිලි තහඩු ( ඇස්බැස්ටොස් ශීට් ) ලබාගැනීමටත්, වහලය සදහා අවශ්‍ය ලී සදහා ආධාර පිණිසත් රු 126,000/- ක් ශාසනයට පූජා කලා. මෙහි විශේෂත්වය ධර්ම ශාලාව සමග එය ස්වාමීන් වහන්සේලාට ලැගුම් ගෙයක් ලෙසින් ද පරිහරණයට හැකි වීමයි.
ඒ අනුව මෙය ධර්මශාලාවක්, ලැගුම් ගෙයක් වගේම දහම් පාසැල් ගොඩ නැගිල්ලක් ලෙසත් භාවිත වෙනව.

මේ පින්කම සිකුකෙරුනේ මංජුලා මහත්මියගේ දැනුවත් කිරීමක් මත වන අතර
මේ සදහා
රොෂාන් ප්‍රගීත් මහතා රු 96,000.00
පුෂ්පකුමාර කරුණාසිංහ මහතා රු 30,000.00
_______________________________________
මුලු මුදල                                  රු 126,000.00

පින්වත් යාලුවනේ මේක සුලු පින්කමක් නෙවෙයි. අටමහ කුසල්වලට අයත් පින්කමක්. මේ බලන්නකෝ.
කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)
ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ, 1. කඨින දානය, 2. අටපිරිකර පූජාව, 3. ආවාස සාදා පූජා කිරීම, 4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම, 5. ධර්මය ලිවීම, 6. කෙත්වතු පිදීම, 7. බුද්ධ ප්‍රතිමා කරවීම, 8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය.
පින්වත් යාලුවනේ අටමහා කුසල් කියන්නෙ ආනන්තරි පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් කරන්න පුලුවන් තරම් මහත්ඵල මහානිසංශ ලබාදෙන පින්කම්. ඒ අනුව මෙය බහුකාර්ය ගොඩනැගිල්ලක් නිසා කුටි ( ආවාස ගෙය) ලෙසද, ධර්මදානය සදහා පහසුකම් සැලසීම ත් ඛර්මදාන පින්කමටම හේතුවන නිසා එලෙසින්ද යන අට මහා කුසල් දෙකකට අයත්වෙනව.

වරක් බුදුහිමියන් වහන්සේ මෙහෙම දේශනා කලා
ආරාමරොපා වනරොපා - යෙ ජනා සෙතුකාරකා
පපංච උදපානං ච - යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච - සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨං සීලසම්පන්නා - තෙ ජනා සග්ගගාමිනො
- සංයුත්තනිකාය
යම් කෙනෙකු අන්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මල් පල ආදියෙන් යුත් ආරාමයන් , උයන් වවත් ද, සෙවණ පිණිස ගස් වවත් ද, ඒ දඬු පාලම් කරවත් ද, ළිං පොකුණු ආවාස හා විශ්‍රාම ශාලා කරවත් ද, එබඳු සත්පුරුෂයනට හැමදා දිවා රෑ දෙකෙහි පින් වැඩේ, පින් පිරේයි බුදුරජාණන් වහන්සේ වදාළ හ.
දුකසේ වෙහෙස මහන්සි වී උපයා සපයා ගත් ධනය මහසඟරුවන විශයෙහි කැප කරමින්, “සියල්ල දුන්නාක් වැනි යැයි” බුදු රජුන් විසින් ම වදාළ සේනාසන පූජාව, මෙසේ නිවන් අරමුණු කරගනිමින් සිදු කරගන්නට හැකි වීම අතිශයින් විශ්මිත පුණ්‍ය කර්මයකි. සිල්වතුන් වහන්සේලා ගුණවතුන් වහන්සේලා මෙම කුටි පරිහරණය කරන වාරයක් පාසා, මේවාගේ වැඩ වෙසෙමින් ගුණදම් වඩන වාරයක් පාසා, මෙම කුටි තනවා පූජා කළ සැදැහැවත් පින්වතුනට දිවා රෑ පින් වැඩෙන්නේ ය..
යහලුවනේ අපදාන පාලියේ 499 වන අපදානයේ දසහන් වන පරිදි නළ කුටිදායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඩුවලින් කුටියක් කොට පූජා කල පිනෙන් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැපද ලැබුවාහුය.
ආපදාන පාලියේ 345වන අපදානයේ දසහන් වන පරිදි නළාගාරික හිමි නාරද බුදුහිමිට බටකිළියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනෙන් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ සිව් පිළිසිඹියාපත් සහිතව රහත් බවද ලැබුවාහුය.
ආපදාන පාලියේ 337වන අපදානයේ තුණකුයිදායක හිමි මීට කල් අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටියදී දිනක් කැලයට ගිය විටදී ලී ගෑලි හයක් ගෙන දෙක දෙක කතිර බැද ඒ මත තෘණ අතුරා කුටියක් කොට සංඝයාට පිදූ පිනෙන්
01. තව්තිසා දෙව්ලොව විමනක් පහළ විය
02. උපනූපන් තැන සිතේ හැටියට ප්‍රසාද පහළ විය
03. බිය, තැතිගැනීම්, ලොමු දැහැගැනිවීම් සිදු නොවීය
04. සිංහ, ව්‍යාඝ්‍ර, වළස් වෘක, කරබානා වළස් ආදී සත්න් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වීම
05. සර්ප, භූත, නාග, රකුස් ආදීන් තමන් යනවිට මගින් ඉවත්වීම
කුටි සෙනෙසුන්, ධර්මශාලා ආදිය සියල්ල මේ පින්කම්වලට අයත්වෙනව.


ඉතින් මෙවන් මහ පින්කමක් සිදුකල රොෂාන් මහත්මයාගේත්, පුෂ්පකුමාර මහත්මයාගේත් නමින් පරලොව ගිය වරිග පරම්පරාවේ සියලු ඥාති හිතමිත්‍රාදීන් මේ මහ පින්කමේ අනුහසින් දුකින් මිදී සැපවත් ජීවිතම ලබත්වා. ඔබවන් දරුවන් බිහිකල පින්වත් මවු පිය දෙපලටත් මේ පින ඒකාකාරවම ලැබේවා. ඒ අයත් නිවන් දක්නා ජාති දක්වාම සැපවත් පින්බර මෙන්ම කිසිදු අපහසුවකින් තොරව තමන් පතන බෝධියෙන් පාරමී ධර්ම සපුරාගන්නට මේ පින් හේතුවාසනා වේවා.

අඹු දරු, සොයුරු සොයුරියන්ටත් ‍මේ පින් හිමිවේවා. විශේෂයෙන්ම පුංචි දූ පුතුන්ට දිවිමගේ සිදුවන දුක් කම්කටොලු බාධා දුරුකරගන්නත්, නොයෙක් ග්‍රහ අපල කරම් බලවේගයන් බිද දමමනි් ජවයෙන් ශක්තියෙන් ඉදිරිය‍ට යන්නත්, සසර පුරා යම් අකුසලයක් සිදුකොට ඇතිනම් ඒ සියල්ල යටපත් කරගන්නත් සසරේ සිදුකොට ඇති කුසල් ඉල්ලම් මතුවන්නටත් සියලු දෙවි යන්ගේ ආරක්ෂාව ලක්වන්නටත් මේ පින් හේතුවාසනාවේවා.
මේ පින්කම සිදුකල රොෂාන් මහතාටත්, පුෂ්පකුමාර මහතාටත් ඔබදෙදෙනාගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින් බලයෙන් සසර පුරාවට නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නට නොලැබේවා. තව තවත් කුසල සිත්පහලවේවා. උපදින හැම භවයකදීම සද්ධර්මයෙන් පිරිපුන් පරිසරයකම උත්පත්තිය සිදුවේවා. පංචශීලයටම, දස කුසලයකටම සිත නැඹුරුවේව‍ා. කිසි කලක මිත්‍යාදෘෂ්ටික පාප මිතුරන් අසුරටවත් නොලැබේවා. සසර පුරාවටම කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. මේ භවයේ පටන් සසර පුරාම ජීවිතයේ සියලු අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, ඒ අභියෝගයන් ජයගැනීමටත් හැකියාව ලැබේවා.  මෙවන් පින්දහම් වැඩිවැඩියෙන් කරගැනීමට පින්සිත් පහලවේවා. පින් උල්පත්, ධන උල්පත් පහලවේවා.  සතර වරම් දෙවියන් සතර වටින් ඔබට ආරක්ෂාව සලසත්වා. කිසිදු හතුරෙකුට මැඩිය නොහැකි මහා පුණ්‍ය ආරක්ෂාවන් ඔබ වටා ජනිත වේවා. කෙලවර ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති පරම ශාන්ත නිවනින් සැනසෙන්නට මේ පින් හේතුවාසනා වේවා ...

මෙවන් මහ පින්කම් බලයෙන් අප පතන බෝධියෙන් නිවන් දකින්නටත් සසර කතරේ නිතර දුකින් පෙලෙන අසරණ සතුන්ට අමා නිවන්දොරටුව විවර කරදෙන්නටත්, මේ පින් බලය පාරමිතාවක්ම වේවා....

බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් මම එරන්ද ලක්මාල්ද සිල්වා ...






Wednesday, June 3, 2015

රන් වැට සසුනට පිදෙන මොහොතේ බෝධීන් වහන්සේ වෙනුවෙන් රු 18,000/- ක වියදමින් විදුලි ආලෝක පූජාවක්, අබතෙල් පූජාවක් හා සුවද පැන් පූජාවක් සිදුකල වගයි ...


පින්වත් ඔබට මතක ඇති පහුගිය දිනවල අපි රන් වැටක් වෙනුවෙන් ආධාර  ලබාදුන්න බව.
බෝධි රන්වැට පිලිබද විස්තර මෙන්න මේ ලින්ක් වලින් බලන්න පුලුවන්.
               
ඒ රන් වැට ඊයෙ දින විවෘත උනා. ඒ වස්ථානේදි අපි
පහත පින්වතුන් මේ බෝධීන් වහන්සේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. විදුලි ආලෝක පූජාවක්, අබතෙල් පූජාවක් හා සුවද පැන් පූජාවක් සිදුකලා. මේ වෙනුවෙන් පූර්ණ දායකත්වය පහත පින්වතුන් විසින් දරනු ලැබුවා ...
                              

නන්දික
නවගමුව මහතා- රු5,000/-
රජිත් තෙන්නකෝන් මහතා- රු 4,000/-
නෙරන්ජන් විතානාරච්චි මහතා - රු 3000/-
දීප්ත අප්සර මහතා රු 2445/-
නදීර රෑපසිංහ මහතා රු 3600/-

            මුලු ලැබීම් රු 18045.00

වියදම් විස්තරය මෙසේයි.

බල්බ් හා උපාංග සදහා වියදම රු 12460.00
වයරින් බොක්ස්බාර් සහ ඇණ රු 1200.00
වයර් රොල් භාග 2 රු 1750.00
අබතෙල් හා පූජා ද්‍රව්‍ය රු 2135.00
ප්‍රවාහන වියදම රු 500.00
                                   
එකතුව    18045.00

                  


පින්වත් යාලුවනේ යෙහෙලියනේ ඔබ සිදුකල පින්කම් ප්‍රමාණය මෙතකැයි කියල කියන්න බැරි තරම් මහා පින්කම් සමුදායක්. ‍


ඔබ කල පින්කමේ ආනිසංස බලන්න කලින් බෝධියට කරන පූජාවක ආනිසංස කොතරම්ද බලමු .හොදයි අපි දැන් බලමු බෝධිපූජාවේ එක් එක් පූජාවන්හි ආනිසංස.

මලුව ඇමදීමේ ආනිශංස
සකන්සම්මජ්ජක හිමි විපස්සි බුදු රජුන් බුදුවීමට පිටදුන් පලොල් බෝධි මළුව අමදීමේ පිනෙන් පහත සදහන් අනුසස් ලැබුවා හා.
* නිශ්චල වූ සමතිගත සිත් ඇත්තෙකු වේ.
* පිරිසිඳු පුද්ගලයෙක් වේ.
* වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ.
* ශෝක නො දැනේ.
* චිත්ත පීඩා දැවිලි නොවේ.
* කුෂ්ඨ රෝග නො සැදේ.
* ගෙඩි රෝග නො සැදේ.
* කැසිලි රෝග නො සදේ.
* මී මැස්මොර නොසැදේ.
* විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසැදේ.
* දද රෝග නොසැදේ.
* කසා සැරව ගලන රෝග නොසැදේ.
* වැළපීම් නැත්තෙක් වේ.
* තැති නො ගනිත්.
* ඍජු සිත් ඇත්තෙක් වේ.
* පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
* කැමැති කැමැති සමාධින් ලැබීමේ ශක්තිය ලැබේ.
බෝධි සම්මජ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුණු බෝපත් දැක එය ගෙන බැහැරට දැමු පිනින් අනුසස් 20 ක් ලැබී ඇත. ඒ අනුව බැලු කල ශ්‍රද්ධාවෙන් තැන්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමද්දත් පහත සඳහන් විපාක ලැබේ.
* දුගතියට නොවැටී දෙවුමිනිස් සැප ලැබේ.
* උසස් කුලයකම ඉපදේ.
* මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ.
* ආරෝහ පරිනාහ දේහයක් ලැබේ.
* පිරිපුන් අවයව ඇත්තෙක් වේ.
* විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
* රන්වන් පාට දේහයක් ලැබේ.
* මෘදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ.
* සිනිදු සියුමැලි ජීවිතයක් ලැබේ.
* සිරුරේ දැලි කුණු නොතැවරේ.
* අවු සුලන් වලින් පීඩා නොවේ.
* සිරුරින් දහදිය නො වැගිරේ.
* කායික මානසික රෝගාබාධ නැත්තෙක් වේ.
* සතුරන් නැත්තෙක් වේ.
* නො අඩු වූ භෝග සම්පත් ලැබේ.
* ගින්නෙන්, ජලයෙන්, රජුගෙන්, සොරුන් ගෙන් බියක් නොවේ.
* තමාගේ සිත නො රිදවන සේවා සේවිකාවන් ලැබේ.
* අකල් මරණයන්ට පත් නො වේ.
* සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.
* මහා යසස් ඇත්තෙක් වේ.

බෝධියට පවන් සැලීමේ ආනිසංශ

සුමනවිජනිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
විපස්සී බුදුරජුන්ගේ උතුමි බෝධි වෘක්‍ෂය සමීපයෙහිදී සමන් මල් විජිනියක් ගෙන මම ඒ උතුමි බෝධියට පවන් සැලීමි. මින් එක් අනූවන කපෙහි උතුමි බෝධියට පවන් සැලූයෙමිද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පවන් සැලීමෙහි විපාකය මෙයයි. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියඵ භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැදීම සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

(අපදාන පාළිය. ථෙරාපදානය. නළමාලිය වග්ග. සුමනවිජනිය ථෙරාපදානය.)

බෝධියට ශබිධ පූජා පැවැත්වීමේ ආනිසංශ

එක සංඛිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
විපස්සී බුදුරජුන්ගේ මහා බෝධි පූජාවක් විය. මහජනයා රැස්ව උතුමි බෝධියට පූජා කෙරෙත්. යමි ශාස්තෘවරයෙකගේ බෝධියද මෙබදු පූජනීය වස්තුවක් නමි, ඒ උතුමා ලාමක කෙනෙකැයි නොහගිමි. බුද්ධ ශේෂ්ඨයෙක් වන්නේය.

ඉක්බිති සකක් ගෙන බෝරුක වෙත එළඹියෙමි. මුඵ දවසෙහිම එය පිඹිමින් උතුම බෝධිය වැන්දෙමි. කරන ලද එම පුණ්‍ය කර්මය මරණාසන්න කල්හි මා දෙවි ලොවට පැමිණවීය. මාගේ සිරුර අප්‍රාණිකව වැටිනි. මම දෙව් ලොව සිත් අලවා වසමි. තටුවූ, පමුදිතවූ සැටදහසක් තූර්‍ය වාදකයෝ හැමකල්හි මට උවටැන් කෙරෙත්. බුධ පූජාවෙහි මෙ විපාකයයි. එක් සැත්තෑවන කපෙහි සිව මහ දිවයින් හා සිව සයුරු කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූ, සතුරු රජුන් ජයගන්නා සුඵවූ, විශේෂයෙන් ජමබුද්වීපයට අධිපතිවූ සුදස්සන නම් සක්විති රජෙක් වීමි.

යලි එහි සප්තාංගීක තූර්‍යයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්මය අනුභව කරමි. බෝධි උපස්ථානයාගේ මේ විපාකයයි. දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම යම් යෝනියක උපදිම් නම්, මව් කුස පිළිසිඳ ගත්තාවූද මට හැමකල්හි භෙරීහු වාදනය කෙරෙත්. සම්බුදුරජුන් වෙත එළඹ සමපත් අනුභවකොට, අතිශයින් ක්ෂේමවූ, ශිවවූ, අමෘතවූ අචල පදය වන නිවනට පැමිණියේ වෙමි. මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම කර්මයක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුධ පූජාවෙහි මේ විපාකයයි.

ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය.
(අපදාන පාළිය. ථෙරාපදානය. එක වීහාරීය වග්ග.)

බෝධියට මල් පිදීමේ අනුසස්

තිපුප්ඵිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
මම පෙර මහ වෙනෙහි වැද්දෙක්වීමි. විපස්සී බුදුරජුන්ගේ නිල්වන්වූ පළෝල් බෝධිය දැක එයට මල් තුනක් විසිරවීමි. පිදීමි යමි කර්මයක් කෙළෙමද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. මම එකල්හි බෝකොළ සතක් අවුලා ගෙන පිටත දැමීමි. ඇතළත පිරිසිදුවූ පිටත ද පිරිසිදුවූ කෙළෙසුන්ගෙන් මැනවින් මිදුණු ආශ්‍රව රහිතවූ ලෝක නායකවූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහිදී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කඵරිය කෙළෙමි.
මින් එක් අනූවන කපෙහි යම බෝධි පූජාවක් කෙළෙද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මෙ විපාකයයි.

මින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්ත පාසාදිකා නමි වූ සක්විති රජවරු තෙළෙස් දෙනෙක් වූහ. මේ සිව පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
(අපදාන පාළිය. ථෙරාපදානය. සුධාපිණ්ඩිය වග්ග.)

බෝධියට සුවඳ පැන් පිදීමේ අනුසස්

ගන්‍ධාදකිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි නමි මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබිදද විය.
එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කඵරිය කෙළෙමි. මම එකෙණෙහි දෙව් ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.

සර්වඥ තෙම ආශ්චර්‍යයකි. ධර්මය ආශ්චර්‍යයකි. අපගේ සාස්තෲ සමිපත්තිය ආශ්චර්‍යයකි. මාගේ සිරුර හෙන පහරින් ඇදවැටුනි. ඉන් චුතවූ මම දෙවලොව සිත් අලවා වසමි. පැන නැගනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගනේය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්. මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් තැවීමක් නොදකිමි. පුණ්‍ය කර්මයාගේ මෙ විපාකයයි.

දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නමි සක්විතිරජෙක් වීමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. වීජනි වග්ග.)

බොධියට ධජ පූජා කිරීමේ හා පිරිසිදු කිරීමේ අනුසස්.

ධජදායක ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම බෝරුකෙහි සතටුවූයේ, සතටු සිතින්ම ධජයක් නැගීමි.

බෝධියෙන් වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් කෙළෙසුන්ගෙන් මිදිණු ආශව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම බෝධිය වැන්දෙමි. පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවන්ට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක. මෙම ධජ දානයෙන්ද බෝපත් බැහැර කිරීම වශයෙන් කළ උපස්ථානයෝද යන මෙ දෙකින් හෙතෙම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියට නොයයි.

දෙවියන් අතර බොහෝවූ දිව්‍ය සෞභාග්‍ය සමිපත් අනුභව කරන්නේය. නොයෙක් සිය ගණන් වාරයක්හි රටෙහි රජ වන්නේය. නමින් උග්ගත නමිවූ සක්විති රජෙක්ද වන්නේය.

කුශල මූලයන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභවකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සිත් අලවා වාසය කරන්නේය කියායි. උපශාන්තවූයේ, උපධි රහිතවූයේ වඩනා ලද වීර්‍ය ඇත්තේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි.
(අපදාන පාළිය. ථෙරාපදානය. )

බෝධි රෝපණයේ ආනිසංශ

අසනබෝධිය ථෙරාපදානයෙන් මෙහෙම උදාහරණයක් දක්වන්නම්.
උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම තිස්ස බුදුරජාණන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තේ, සොමනස්වූ මම තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.

ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගණ ඇති, තිස්ස බුදුරජාණන් වහන්සේට සතුටුවූයේ, සතටු සිතින් උන්වහන්සේගේ බෝ රුකින් ඵලයක් ගෙන උතුමි බෝධියක් රෝපනය කෙළෙමි. නමින් අසන (පියා) නමවූ බෝධි වෘක්‍ෂයයි. එම උතුම බෝරුක පස්වසක් පිරිවරණය කෙළෙමි පිදීමි. ආශ්චර්‍යවූ, ලොමු දැහැ ගන්වන්නාවූ, පිපිනු පියා බෝ රුක දැක ස්වකීය කර්මය ප්‍රකාශ කරන්නේ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි. එකල්හි සියල්ල තෙමෙ දැනගත්තාවූ, අග්‍ර පුද්ගලවූ, ඒ තිස්ස සර්වඥ තෙමෙ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළ සේක. යමෙක් විසින් මෙම බෝධිය රෝපණය කරණ ලදද, බුද්ධ පූජාව මැනවින් කරණ ලදද, මම ඔහු කවරෙක්දැයි ප්‍රකාශ කරන්නෙමි. ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසවි.

හෙතෙම තිස් කපක් දෙවියන් අතරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේය. සූ සැට වරක් සක්විති රජ වන්නේය. කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, තුෂිත දෙව් ලොවින් චුතව, දිව්‍ය මනුෂ්‍ය සමපත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේය. වීර්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති, උපශාන්තවූ, උපධි රහිතවූ, හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන දුරුකොට ආශව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.

විවෙකයෙහි යෙදුනේ, උපශාන්තවූ, උපධි රහිතවූ මම හස්ති රාජයෙකමෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
මින් දෙඅනූවන කපෙහි වූ, එකල්හි එම පියා බෝධිය රෝපණය කෙළෙමි. ඒ හේතවෙන් දුගතියක් නොදනිමි. බෝධි රෝපනයෙහි මෙ විපාකයයි.
(අපදාන පාළිය. ථෙරාපදානය.)


ඒ බෝධියට පූජා පැවැත්වීමේ ආනිසංස. එතකොට ඔබ කල පින්කමේ ආනිසංස කොතරම්ද කියල හිතාගන්න.


අබතෙල් පූජාව නිරෝගී බව පතා සිදු කෙරෙනව. මේ බලන්න අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදුබව පැතූ හැටි.
සිද්ධර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර ඒ ඈත කාලයේ ලොව පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ භින්න මාතෘක කුමරියක්ව උපත ලැබුවාය. බුදුරදුන්ගේ පියා නිසාම වෙනත් බිසවකගේ කුසින් උපත ලද කුමරියක යන්න එහි අදහසයි.

එදා ඒ කුමරිය අබ හේනක් වපුරුවා, සියතින්ම අබ වගාවට පහසුකම් සලස්වා, ඒ අබ නෙලා කොටා තෙල් සිඳ, ඒ අබතෙල් දීපංකර බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නිසභ මහරහතන් වහන්සේට පූජා කොට “ මේ පිනෙන් මටත් මාගේ සහෝදරයන් වහන්සේට සේම, සම්මා සම්බුදු බවට පත්වීමට හැකි වේවා! යි ප්‍රාර්ථනා කළාය. එම ආත්මයේදි මගේ නම අබ හඳුන්වන ලද “ සිද්ධාර්ථ” නාමය ම වේවා! යි ද ප්‍රාර්ථනා කළාය. නිසභ මහරණුවෝ පාත්‍රය පුරා පූජා කරන ලද අබතෙල් පිළිගෙන සන්ධ්‍යා සමයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට පූජා කළහ. එහි සිටි දහස් ගණනක් මහා සංඝයා වහන්සේට පූජා කළ ද ඇගේ ප්‍රාර්ථනාවෙහි බලය නිසා දෝ, පාත්‍රයෙහි තෙල් නිමාවක් නොවීය.

මේ පිළිබඳව නිසභ තෙරණුවෝ කරුණු පැහැදිලි කරමින් භාග්‍යවතුන් වහන්ස, මේ අබතෙල් පූජාකරන ලද්දී, ඔබ වහන්සේගේම භින්න මාතෘක නැගණියයි. ඇය අබහේනක් වපුරා එය සරුසාර ලෙස වඩා කපා කොටා තලා සැම අබ ඇටයක්ම ස්වේත වර්ණ බවට පත්කොට මේ පිරිසුදු අබතෙල් සිඳගන්නා ලද බව දැනගතිමි. ඒ අබතෙල් පාත්‍රය පුරවා පූජා කොට මටත් මාගේ බෑයන් වහන්සේට සේම, අනාගතයේදී බුදුවන්නට ලැබේවා! යි ද ඒ ආත්මභාවයේ දී මගේ නම සිද්ධාර්ථ නාමයම වේවා! යි ද ප්‍රාර්ථනා කරන ලද්දී යැයි ද නිසභ තෙරණුවෝ සඟ මැද ප්‍රකාශ කළහ.
ඒ දීපකංර බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, “ඇවැත්නි, මහණෙනි, මාගේ ඒ සහෝදරියගේ ප්‍රාර්ථනාව එසේම සිදුවන්නේය.

ඉතින් ඔබට පැහැදිලි ඇති ඔබ සිදුකල පින්කමේ ආනිසංස කොතරම්ද කියල. ඉතින් පලමුකොට අපි මෙවන් ප්‍රාර්ථනාවක් කරමු.

බෝධි රන් වැට පින්කමේ දෙවන අදියර ලෙස සිදුකල විදුලි ආලෝක පූජාව, අබතෙල් පහන් පූජාව සහ සුවද පැන් පූජාව අනුහසින් සම්බූද්ධ ශාසනයට අභ්‍යන්තරින් හා බාහිරින් පැමිනෙන සියලු උවදුරු දුරු වේවා! සම්බුද්ධ ශාසනය චිරාත්කල් නිරුපද්‍රිතව පවතීවා! ලෝකෙට පැමිණෙන පොදු විපත් අවම වේවා! මිනිස් වර්ගයා සහිත සියලු සත්වයන්ගේ ජීවිත ආයු ඇති තෙක් සුරක්ෂිත වෙත්වා  විශේෂ පැතුමක් ලෙසන් මෙම සම්බුද්ධ ශාසනය සිතුවිල්ලකින් හෝ රකින්න උත්සාහ කරන්නා වූ දෙවි මිනිස් ප්‍රජාව සහිත සියලු සත්පුරුෂයන්ටත් මහ මූලයන් ප්‍රමුක සියලු බෝසත් වරුන්ටත් මේ සියලු කුසල් වඩ වඩාත් ශාසන ආරක්ෂිත කටයුතු කිරීමට ශක්තියක් බලයක් ජවයක් වේවායි! සිත්හි දරාගෙන බෝධි රන් වැට විවෘත කිරීම,විදුලි ආලෝක පුජාව, අබතෙල් පහන් පුජාව සහ සුවඳ පැනින් බෝධිය නැහැවීම උතුම්  පොසොන් පුර පසළොස්වක පොහොය දින සිදු කලා.

මේ මහ පින්කම සිදුකරන්න දිරිය විරිය ශක්තිය ලබාදුන් පින්වත් රජිත් තෙන්නකෝන්න මහතා ප්‍රමුඛ  නන්දික නවගමුව මහතා, නෙරන්ජන් විතානාරච්චි මහතා, දීප්ත අප්සර මහතා, නදීර රූපසිංහ මහතා , ලබාදුන්නෙ අමිල ශක්තියක්. එපින් පලමුකොට ඔබේ ප්‍රතිසංධිය සිදුකල පින්වත් දයාබර දෙමාපියන්ට හිමිවේවා. දසමසක් කුස දරා ඔබ බිහිකල පින්වත් මෑණියන්ටත්, ලේ දහදිය වගුරමින් අතපය ශක්තිමත්කල රත්තරන් අප්පච්චිටත් මේ පින් හිමිවේවා. ඒ අය ජීවත්වන්නේනම් නිදුක් නිරෝගී ජීවිතයක් හිමිවේවා. මිය පරලොව ගොස් ඇත්නම් ඔවුන්ට දිව්‍ය සැප දිව්‍ය මාලිගා පහල වේවා. මේ රන්වැට මෙන් ආලෝකමත් ජීවිත ලැබේවා.
ඔබගේ පින්වත් බිරින්දෑවරුන්ටත්, දරුවන්ටත් ඇති සියලු අපල, ග්‍රහදෝෂ අමනුස්ස බලපෑම් දුරුවේවා. නිදුක් නිරෝගී ජීවිත හිමිවේවා. විශේෂයෙන්ම දූ දරුවන්ට ඉගෙනීමේ කටයුතු යහපත් කරගන්නටත්, සියලු විභාග කඩඉම් පහසුවෙන් පැනගන්නටත් මේ පින් හේතුවාසනා වේවා. විශේෂයෙන් ඔනෙත් රෑපසිංහ නම් පින්වත් පුංචි පුතාට ඇති සියලු අපල, ග්‍රහ දෝෂ දුරුවේවා. පුතාට යම් කිසි කර්ම දෝෂයක්වේනම් ඒ සියල්ල මේ පින්බලෙන් දුරුවේවා. සියලු දෙවියන්පුතාට ආරක්ෂාව සලසත්වා. අබතෙල් පහන් පූජා කරන්නේ නිරෝ/ී භාවය පතාගෙනයිත අබතෙල් පහන් පූජාවේ බලෙන්ද සර්වඥ ධාතු කරඩුව අසල පැය 24ම පුරා දැල්වෙන අබතෙල් පහන් ආලෝකයේ බලෙයන්ද පුංචි පුතාට නිරන්නරත ආරක්ෂාව සැලසේවා.

පින්වත් ඔබ සියල්ලන්ගේ සොහොයුරු, ඥාති ආදිී සියල්ලන්ටත්, මලගිය ඥාතීන්ටත් මේ පින් හිමිවේවා.

ඔබවන් පින්වත් පුරුෂයන් නිසා අද ශාසනය තවත් ආලෝකමත් උනා. විදුලි ආලෝක, අබතෙල් පහන්  පින්කමේ ආලෝකය ඔබේ දිවිය පමණක් නොව සසරම ආලෝකමත් වේවා. රන් වැටෙන් විහිදෙන රශ්මිය මෙන් ඔබ දිවිය බැබලේවා. සසර පුරා නැහැ බැහැ කියන වචනයක්වත් අසන්නටවත් නොලැබේබා. මේ රන්වැට බෝධිය රකින්නේ කෙලෙසද එලෙසින්ම සතර වරම් දෙවියන් සතර වටින් ඔබ ආරක්ෂා කරත්වා. සසර පුරාම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ආදී සියලු සැප සම්පත් උදාවේවා. කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා ...

.

මේ පින් බලෙන් අපගේද ප්‍රාර්තනීය බෝධියෙන් නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා ...


මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..